Friday, August 21, 2015

ඔබ අතරින්, කිසිදු වරදක් කිසි දිනක නොකළ අයෙක් වේ නම්, මේ ස්ත්‍රියට පළමු ගල ගසන්න" ජේසුස් එදා කීවේ ය. කිසිවකුත් ගල් නොගැසූ හ.
"ඔබ අතරින්, කිසිදු වරදක් කිසි දිනක නොකළ අයෙක් වේ නම්, මේ ස්ත්‍රියට පළමු ගල ගසන්න" ජේසුස් අද කිවේ නම්, සියල්ලෝම උඩ පනිමින් ගල් ගසනු ඇත.

Friday, August 14, 2015

ආදරණීය සෙල්වා.....................

අද ඔබේ
උපන් දිනයයි
ඔබ නැතුව, 
වසර හතරයි............
අන්තිමට අපි ඉඳපු
මාර ගහ ලඟ
තාම ඔබෙ
සුවඳයි...........
පන්සිලෙන් මඩිනු බැරි
නිමක් නැති සිහින තුල
දහස්වර ඔබේ රුව
මැවී එයි,
සිනාසුනු ඇස් වලින්
දස දහස් වාරයක් 
කඳුලු බිඳු
පතිත වෙයි,

කලු උනත් ඔබ සුදුයි
සුදු වෑන් එක කලුයි...............................

වැස්ස

සඟවනු නොහැකි
අහසට උරුම
කඳුලු!

මුහුද


නැගෙන
බිඳෙන
ගැහෙන
නිල් පාට හදවත!

බූරු කථා

එක්තරා දුප්පත් ගොවියකු, ගමනක් යන අතරමග, බූරුවකු හමු විය. බූරුවා, නිල් පාටය. මෙම අමුතු බූරුවා , මිනිසාට කථා කොට ,
" හිතවත් මිනිස! ඔබට ඉතාම වෙහෙස පාටයි. කරුණාකර මගේ කර මත නගින්න. මා ඔබව ගමනාන්තය  කරා ගෙන යමි. " කීවේ ය.
දුප්පත් මිනිසා ඉතා සතුටින් බූරුවා පිට නැගුණේ ය. එකෙණෙහිම බූරුවා මහා හඬින් කෑ ගසා,
" ඔබ ඉතා බරයි. මා එතරම් බර නැත. ඔබ මට වඩා ශක්ති සම්පන්න නිසා මගේ පිටින් බැස,  මට ඔබේ පිට  උඩ යන්නට දෙන්න" යයි කීවේ ය.

දැන් අර බූරුවා, මිනිසා පිට නැග යයි. එම බරින් පීඩිතව, යන මිනිසාට ටික දුරකදී, කොළ පැහැති බූරුවෙකු කාරුණිකව මිනිසා දෙස බැලූ කොළ පැහැති බූරුවා,

" හිතවත් මිනිස! ඔබ නිසි අහරක් , ඇඳුමක් නැති අයකු බව බැලු බැල්මට පෙනේ.ඒ අතර මේ නිල් පැහැ බූරුවාද, ඔබේ කර මත යයි. කරුණාකර ඔය බරින් නිදහස් වී මගේ පිට මත නගින්න. මා ඔබේ ගමනාන්තය කරා ගෙනයමි" කීවේ ය.

මිනිසා වහා නිල් පැහැ බූරුවා, පන්නා දමා කොළ පැහැ බූරුවා මත නැගුණේය. එකෙණෙහිම, කෑ ගැසූ කොළ පැහැ බූරුවා,
" ඔබ බර වැඩියි. කරුණාකර මා ඔබේ කර මත ගෙනියන්න" යැයි කීවේ ය. දැන් මිනිසා කොළ පැහැ බූරුවා, පිට මත රැගෙන යයි. එම බරින් පීඩිතව යන මිනිසාට, ඉදිරි මග නැවත නිල් පැහැ බූරුවකු සිටින බව පෙනේ.

පක්ෂ විපක්ෂ

                                                          එක්තරා වන ලැහැබක පාලක පක්ෂය වනාහී, සුදු හාවුන්ගෙන් සමන්විත වූවකි. විරුද්ධ පක්ෂය, කලු හාවන්ගෙන් යුක්ත ය.

ඔබේ හෝ මගේ රටේ මෙන්ම, වන වැසි සියලු හාවෝද , කලු සුදු ලෙස බෙදෙමින්, කා කොටා ගනිමින් සිටිනා ලදහ. එක්තරා දිනෙක, එම වනයේ, මහ වැසි ඇති විය.  වැසි වසින වෙලේ බොහෝ හාවුන් තම ගුල් තුල සැඟවුනද,  එසේ කර ගත නොහැකි වූ මහ මඟ ගිය හාවෙක්,ගං වතුරට හසුව ගසා ගියේ ය. ගසා යන හාවා, එක්තරා ගල් ගුහාවකට ඉහළින් පාත් වූ අත්තක් අල්වා ගත්තෙන් යන්තම් එයට ගොඩ විය.ගල් ගුහාව තුළින් උණුසුමත් ආලෝකයත් දැනෙන ලදින්, හාවා අසීරුවෙන් එහි වූ කවුලුවකින් මුහුණ හොවා බැලුවේ ය.

පුදුමයකි! නරි රැසක් එහි කති බොති. කලු, සුදු හා ඇඳුම් රැසක් තැන තැන බිම විසිර ඇත.

කපුටා සහ කේජු කැබැල්ල

කලු කපුටා, කේජු කැබැල්ලක් මුවේ දරා ගස උඩ සිටියි. නරියා, ගස යටට, පැමිණියේ ය.

" සොයුර! ඔබ කෙතරම් ලස්සනද? ඔබේ ලස්සන මීටත් වඩා ඔප කර, ඔබේ හැකියා වර්ධනය කර, ඔබට වඩා සුන්දර අනාගතයකට මග පාදමි."

ප්‍රීතියෙන් පිනා ගිය කපුටා, යමක් පැවසීමට කට අරිනවාත් සමඟම, කේජු කැබැල්ල ගිලිහී ගියේ ය. එය අල්වාගත් නරියා, වහා තම ඉන්ටකූලරයේ නැගී පාර්ලිමේන්තුව දෙසට යන්නට විය.